Tuesday, March 25, 2014

රැක ගනු මැන දෙවියනි දරු දෙන්නා ………………………!

සොදුරු යොවුන් වත වැහැරිලා
පැතු පැතුමන් බොදවිලා 
ආලයේ උමතුව ඈ රිදවා 

කුස තුල නලියයි දරු පැටියා 



මල් මල් ලෝකය ඈ හට පෙන්නා 
සිල් ගත් තවුසා මල් මත රොන් ගන්නා 
ආලය මෙතරම් සොදුරුයි සිත් ගන්වා 

දරු ගැබ මෝරයි හද තුළ දුක් නැත නිම්මා 



යුවතිය කෙතරම් අසරණදැයි සිතුනා 
මිනිසුන් ගරහයි දුටු තැන ඇය පන්නා 
සුවදැති කැකුළක් අකලට පරවෙන්නා 

රැක ගනු මැන දෙවියනි දරු දෙන්නා   

Friday, March 7, 2014

අම්මා නැත තවම ඇවිත් …………………..


අක්කේ ටිකක් එන්නකෝ 
කැලැන්ඩරේ ගන්නකෝ 
අම්මා එන දින
මට පවසන්නකෝ.. 

එකයි දෙකයි තුන හතරයි 
ඔයා දන්නේ මේ ඩිංගයි 
අම්මා එන්නට නංගියේ 
දහයේ ඒවා තව බොහොමයි 

දිනෙන්  දිනේ ගෙවී ගිහින් 
කැලැන්ඩරේ  දින ඉවරයි 
පැතුම් අපේ පීරී ගියත් 
අම්මා නැත තවම ඇවිත් 

Tuesday, March 4, 2014

අන්ධ ආලය .................



නිල්වන් අහසයි රන්වන් එළියයි 

නැත මට දිස්වන්නේ 

සුදුමුදු දෑතයි පින්බර  සුවදයි 

මා වට දැවටෙන්නේ  


සොදුරු වතයි සුදුමුව කමලයි 

දෙනෙතෙහි බොදව පෙනෙන්නේ 

ඔය රුව දැකුමයි ඔබෙ අත ගැනුමයි 

සිහිනය මැවී පෙනෙන්නේ  



ගලන ගගයි හමනා මද පවනයි 

ඔබ ගැන පවසන්නේ 

වැටෙනා කදුලුයි සුදු සැරයටියයි 

තනිය මකා ලන්නේ