Monday, June 9, 2014

අවසන් පැතුම ………………

ආදරේ තිබුනට මහමෙර තරමට
කිසිදා එය පවසන්න එපා
සාගරේ තරමට සෙනෙහස දෙන්නට
කිසිදා නුඹ යළි එන්න එපා
මගේ මළගම ගැන දැනගත් දවසට
ඔය ලස්සන නෙතු තෙමෙනු එපා
අවසන් නින්දට මා යන අද දින
ඉකිබිද හඩමින් කදුලැලි සලනු එපා

උපදින සසරෙදි මාවම පතමින්
මා පසුපස්සෙ එන්න එපා
දුටුවත් සසරෙදි කොතැනක හෝ මා
මා දුටු බව පිළිගන්න එපා
මගේ අවසන් දින ඇවිදින් දෙණ ළග
කදුලැල්ලක් වත් ඔබ හෙලනු එපා
හඩා වැටෙන්නට සිතුවිලි ආවත්
මගේ නමින් ඔබ හඩනු එපා

නිදනා විට මා අවසන් නින්දේ
ඔබේ සුසුමින් මා තවනු එපා
දෙනෝදහක් ඇති  මගේ මළගමදා
නුවන් තෙමාගෙන හඩනු එපා
ලස්සන සිහිවී පෙර මගේ දෙතොලේ
ඔබේ ලස්සන මුව තබනු එපා
දෙණ ගෙන යන තෙක් සුසාන පිටියට
මා තනිකර ඔබ යනෙනු එපා 

Sunday, June 1, 2014

නුඹ...................

නුබ ගැබ වී නුඹ
කදුලු දරා සිටිනා
මිහිකත වී හිද
සිහිල දරා සිටිනා

පන්හිද වී නුඹ
fm%auh කවි කරනා
තනුවක් වී හිද
ආදර කවි ගයනා

fm%auh වී නුඹ
ආදර ලොව සදනා
දෙවියන් වී මගෙ  
හද දෙවොලේ සරනා

Tuesday, May 27, 2014

තෛයිපොංගල්

                                
          එදින පාසල් නිවාඩු දිනයක් වූ නිසාත්  පාන්දර අවදි වීමට කිසිදු අණක් නොලැබු නිසාත්  පොරවා ගෙන ඇති බෙඩ් ෂීට් දෙකටත් උඩින් ඇද රෙද්දද පොරවා ගෙන මා ඇදටම ගුලි වූයේ හිමිදියේ අධික සීතල දරා ගත නොහැකි නිසාමය .අම්මාත් ,අප්පච්චීත් අයියලාත් සමග කොළඹ ගියේ පෙරදා සවස නිසා නිවසේ සිටියේ අත්තම්මාත් , කුස්සි අම්මා හා ඇගේ දුව සිරියාත් මාත්.

චූටී ………. චූටි …………….
නැගිටින්න  දෝණී …….
අද පෝය දවසෙත් තාම නිදිද  ඔයා ………..?
අද සිල් ගන්න යන්නේ නැද්ද ………..?
 නැගිටලා එන්න කෝ  …………. ළමයෝ  ”

                          අත්තම්මාගේ හඩින් එවකට පළමු වසරේ පාසල් දැරියක් වූ මා නැගිට්ටේ හඩමින් හා කෙදිරි ගාමිනි .

අනේ අත්තම්මේ , අද සිල් ගන්න යන්න බෑ ………..
 අයියලත් නෑ ……… මට තනියම යන්න බෑ …….
අම්මා යන්න කිව්වෙත් නෑනේ …….. අත්තම්මේ …..”
                                                                  කොතෙක් ඇවටිලි කලද පලක් නැති තැන මම මුහුණ සේදීමට ගියේ හඩමිනි .

අම්මා කියන්න ඕනද දෝණි ………..?
 අද පෝය දවසක් තමා  
මේ කැලැන්ඩරෙත් රතු පාට කොරලා තියෙන්නේ ……….
ඕන් උදේම  ඝන්ඨාරෙත් ගහනවා ඇහුණා ………..
සුදප්පු වෙන්නැති   
උන්දැනේ ඉතින් ඕවා කරන්න  ඉන්නේ  …………. ”  අත්තම්මා තවත් මොනවාදෝ කියමින් මා පන්සල් යැවීමට සුදානම් කළාය .

“හරි එහෙනම් අත්තම්මත් එන්න ……
මට බෑ තනියම යන්න ……..”
                                        මා පැවසුවේ සෑම පොහෝ දිනකම සිල් ගන්නට යන අත්තම්මා මා සුදානම් කලා මිසක  ඇය සුදානම් නොවු නිසාය .

“අම්මලත් නැතුව මම කොහොම එන්නද පුතේ …………?
කමලා  විතරයි ගෙදර ඉන්නේ ……
අන්න මං කමලට කිව්වා සිරියා කෙල්ලවත්  ලැහැත්ති කරලා එවන්න කියලා ”
             අත්තම්මා මෙසේ කියත්ම සිරියා ඇගේ මව සමග  සාලයට ආවේය.
 "එහෙනම් සිරියෝ …………..
 චුටි නෝනත් එක්ක  පරිස්සමින් ගිහින් වරෙල්ලා ” 
                                                                 අත්තම්මා අප දෙදෙනා මල් වට්ටිද ගෙන පාරට පැමිණෙද්දි  අවවාද කරනු ඇසිණි.

                                      පන්සල පිහිටා ඇත්තේ මාටින් මාමාගේ කඩයට අල්ලපු වැටෙහිය .කුඩා අප දෙදෙනා කඩය පසු කර යන විට එහි උන් මාටින් මාමා හා නැන්දා මුහුණින් මුහුණ බලා සීනාසී අප දෙස බලනවා මා මෙන්ම සිරියාද දුටුවේය.ඒ වෙලෙහි එහි තේ බිබි උන් සිරියාගේ සීයා , බබානිස් මුත්තාද ,සෝමපාල  මාමාද ,

“ ආ ……………..
 පුංචි නෝනා සිල් ගන්න යනවා වගෙයි  ……….. ? ”
                                        ඇසුවේද මුවගින් ආ සිනහව මැඩගෙන බැව් දුටු සිරියා,
         “ඔව්  සීයේ අපි යනවා …………”  පවසමින්  මා පසුපසින් ඇදෙන්නට විය .
             අප දෙදෙනා පන්සලට ගොස් පාවහන් ගලවා ධර්ම ශාලාව දෙසට ගිය මුත් එය අගුලු ලා තිබුණි. කිසිවෙක් පෙනෙන්නට නැත . අද පොහොය දිනයක් නම් නොවන බව අප දෙදෙනාටම සිතුණි .

“ ඈ …. පුංචි නෝනා
කවුරුත් ඇවිත් නෑනේ ………
ආ ………… අර සුදප්පු සීයා නේද මේ පැත්තට එන්නේ …………? ”                                                           
                      සිරියා පැවසුවේ අප දෙසට එමින් සිටි සුදප්පූ සීයා පෙන්නමිනි. ඒ පිටුපසින් ලොකු හාමුදුරුවෝද අප වෙත එමින් සිටියේය .

“ ආ ……….. මේ අපේ නන්දා ඉස්කෝලේ නෝනාගේ දුවනේ  ………..
මොකද අද මේ ……………..
පෝයත් අද නෙමෙනේ …………”
                                               සුදප්පූ සීයා ඇසුවේ ලොකු හාමුදුරුවන්ගේද මුවගට සිනහ නංවමිනි . අප දෙදෙනාට පොළව පලා ගෙන යාමට තරම් ලැජ්ජාවක් ඉපදුනි.

“ ලොකු හාමීනේ තමා චූටී නෝනටයි මටයි කිව්වේ  අද පෝය කියලා කැලැන්ඩරේ රතු කරලාතියෙනවා  ……
ඒක හින්දා සිල් ගන්න යන්න කියලා  ……
හාමුදුරුවනේ ……………”
                                             සිරියා බිම බලාගෙන පැවසුවාය .

“ඔව් ………. හාමුදුරුවනේ 
අත්තම්මා  කිව්වා  සුදප්පූ සීයා ඝන්ඨාරෙත් ගහනවා ඇහුණා  කියලා…… ”

  මා පැවසුවේ නෙතින්ගලා යන කදුලු අතරිනි .

“ හහ් ……….හහ්…………….හා ……………
සුදප්පූ ඝන්ඨාරේ ගැහුවේ එගොඩහ  සිමියොන්ගේ මළ ගේ ගමේ අයට දන්වන්ඩ නේ ……….
අපේ ඉස්කෝලේ හාමිනේ ගෙදර නැතුවද  චූටි නෝනේ …………….?
                                                                    ලොකු හාමුදුරුවෝ ඇසුවේ අප දෙදෙනාගේම ඇස්වලින් කදුලු කඩා වැටෙද්දීය.

“නෑ ……. නෑ ………. හාමුදුරුවනේ  ………..
අම්මයි , අප්පච්චියි  අයියලා  එක්ක කොළඹ බාප්පලගේ දිහා ගියා ”
   මා පැවසුවේ හැඩුම් අතරිනි .

“ ඒකත් එහෙමද………?
ඕක අඩන්න  තරම් දෙයක් නෙමේ දරුවනේ ………
අපේ ලොකු හාමිනේටත් දැන් වයස හින්දා ඇස් පේනවා හොර ඇති මගේ හිතේ ……….
අදට යෙදිලා තියෙන්න් දෙමළ අයගේ තෛයිපොංගල්  උත්සවේනේ …………..”
                  කවදත් කරුණාවන්ත ලොකු හාමුදුරුවෝ පැවසුවේ අපගේ සිත් වල වූ දුක තුනී කිරිමටය.ලොකු හාමුදුරුවන් පා නැමද අපි යළි නිවස කරා පැමිණියේ හඩමිනි .මාටින් මාමාගේ කඩය ලගින් යනවිට හැඩුම වැඩි විය .ඔවුන් සිනාසුනේ ඇයිද කියා තේරුණ විට හඩනවා හැර කුමක් කරන්නද ?

                       අප මිදුලට එත්ම කුස්සි අම්මා සමග මිදුලේ උන් අත්තම්මා,

“මොකද සිරියෝ මේ පන්සල් ගිය පයින්ම  ආවේ ………..?
චූටී පුතේ ……….මොකද  මේ …………? ”
                                                                  අසද්දී මගේහැඩුම වැඩි විය .

“මොකෝ දෝණී උනේ ……? ”
                                                 අසමින් පැමිණි අත්තම්මා මා තුරුලු කර ගත්තාය .

“අනේ …….අත්තම්මේ  …….
අද පෝය නෙමෙනේ …………
අද  තෛයිපොංගලූ………..
ලොකු හාමුදුරුවොත් හිනා  උනා  
අපි සිල් ගන්න ආවා කිව්වාම ………ඉහි……ඉහි…..ඉ ….ඉ…
සුදප්පූ සීයා ඝන්ඨාරේ ගහලා තියෙන්නේ  සිමියොන් මාමාගේ මළ ගේ ගමේ අයට දන්වන්ඩලූ …”  
                                        පැවසූ මා කාමරයට දිව ගියේ අත්තම්මාත් , කමලාගේත් සිනහවට ලක්වීමට අකමැති වූ නිසාය.

“හප්පොච්චියේ …………….
මං කෙරුව වැඩක් කමලෝ ………
අද නම් විසුමක් නැති වෙයි ..
කොල්ලෝ දෙන්නා දැන ගත්තොත් …………..”
                                                                        කියමින් අත්තම්මාත් , කමලාත් , සිරියාත් සිනාසෙනු මට ඇසිණි.ඇත්තටම අයියලා දෙන්නා දැන ගත්තොත් තවත් බොහෝ කලක්  කනක් ඇසී හිදින්නට බැරිවෙනු ඇත.යළි සාලයට ආ මා

“අනේ ………..අත්තම්මේ 
අයියලා එක්ක නම් ඕක කියන්න එපා”
                                                 පැවසුවේ එම නිසාය.කොහොමින් කොහොම හරි රෑ බෝ වී නිවසට පැමිණි අම්මාටත් , අප්පච්චීටත් , අයියලාටත් අත්තම්මා මේ කතාව රස කර කර කියනුද , අයියලා දෙදෙනාගේ උස් සිනහවද සිහිනෙන් මෙන් මට ඇසුණි.

                                                       
                                                                                                        









Monday, May 26, 2014

ආදරය


හන්තානය අදුරේ ගිලී
මන්දාරම් සීත නැගී
මැයි මල් විසිරිලා
වසන්තයේ මල් හීනය
 අරන් ඇවිල්ලා

දේදුන්නක් වගේ  නැගී
හිත් අහසට එළිය දිදී
පිණිමල් විසිරීලා
ආදරයේ නැවුම් සුවද
අරන් ඇවිල්ලා

කුරුලු සරින් ගිගුම් දිදී
හදවත ලග සිනා සිසී
පෙම් මල් විසිරීලා
ආදරයේ පළමු පැතුම

අරන් ඇවිල්ලා

Tuesday, May 20, 2014

කපුකම ...............

ගමයා බැලුවා ඇවිත් වට පිට
හාමිනේ නෑ පෙනෙන්නට  අද
කෝහේ ගිහින් මේ  යොදි ඇත්තට
කතා කරලා බලමු හනිකට

හාමිනේ …………………
හාමිනේ …………

මෙහෙට එන්නකෝ  හාමිනේ ……”


ඇයි වදේ ………
ඇයි වදේ ………….
මම මෙහෙ ඉන්නවා ………….”





දොඩම් ගහේ සිට  කපුටා හඩන්නේ
කපුවා නොවැ  අර ඈත ඇදෙන්නේ
කියමින් ගමයා
පෙන්වයි ගම්මැද

අනේ ඇත්තට කපුටා  හැඩුවට
කපුවා ඒවිද අපේ  ගෙදරට
කියා ගමයට
හාමිනේ යයි
යලිත්ආපිට  
                          


මොකද අම්මේ  කවුද එන්නේ
ඈත මෑතත් දෙනෙත් යොමමින්
අසයි ගම දෝණී ………..


රන් එතනා නම ඇගේ
ගම මහගෙගේ පණ වගේ
ලස්සන සුදු මුව ඇගේ
පසලොස්වක සද වගේ

නාඹර රන් තැඹිලි
පරදී  ඇගෙ රුවිනි
නා දලු වැනි තොලිනි
කවි පද වැල් ගෙතිනි

මෙවන් රුවැති  ගැමි ලියක්
නැති හින්ද ඇගෙ ගමේ  
රන් එතනව මව රකී
නිසි වයස්  එළඹෙන තුරුත්

නිසි වයස් එළඹිලා
දැන් බොහොකල්
ඇගෙ අත ගන්න
තරුණෙක් තාමත්
නැද්ද……………

                                                    රන් එතනට සහකරුවෙක්
                                                    කපුවා හොයන් එන හින්දලු
                                                     ගමයා පාර බලන්නේ
                                                     හාමිනේට කෑ ගසමින්
                                                      පාර බලන්නේ………..



හාමිනේ හාමිනේ
අන්න කපුවා මෙහෙට එනවා
හනික එන්නකෝ හාමිනේ

ආයුබෝවන් ආයුබෝවන්
මෙහෙන් එන්නකෝ
මෙහෙන් එන්නකෝ
ඔන්න  ඔතනින් කුඩේ  තියලා
පහසු විදිහට ඈදී ගන්නකෝ

ඔන්න හාමිනේ කියපු  විදිහට
හොදම මගුලක් ගෙනාවා මං
හරකා බානද  වතුපිටිද  ඇත
උඩරටිනි මේ මුදලි මහතා

අනේ ඇත්තට වාසනාවන්
අපේ දෝණිට වාසනාවන්
කන්නකෝ තව කැවුම් කොකිසුත්
කුසගිනිත් ඇති නොවැ ඉතින්

හැබැයි රාලේ එකම එක කරුණක්
හිටියනේ පරහට අනේ  වුන විපතක්
තරහ අවසර දෙන්නගෙන් මට
කියන්නද  මම කරුණ අද

මොකක් කිව්වා රාලේ පරහක්
කියාපන් බොල කියපන් අද
මිල මුදල් සම වේද දෝණිට
කියාපන් ඔය කරුණ විගහට

මෙන්න මේකයි  කරුණ ගමරාලේ
මුදලි මහතා ටිකක් කොරයෙකි
සල්ලි බාගෙට කොරෙත් යටවෙයි
ගමදෝණිටත් කිරිම උතුරයි

මොකක් කිව්වා කොරයි කිව්වා
හැබෑටම උඹ මත් වෙලාවද
කොරෙක් හෙව්වද මගෙ දෝණියට
 බැහැල පලයන් ගෙයින් එළියට

අනේ පව් කිය කියා හෙව්වට 
කෙලෙහි ගුණයක් නෑනේ උඹලට
රූපයත් යයි දිරා වයසට
දෝණි තනිවෙයි උඹලා නැති කල

අනේ උඹගේ කරුණාව දැක
සැකක් හිතුණා මටත්  උඹ ගැන
සල්ලි කීයක් මිට මෙලෙව්වද
මගේ දෝණිට වින කරන්නට

රුවින් අගනා මගේ දෝණියට
සල්ලි බාගේ නැතත් ඉහළට
මහ බඹා කොටා ඇත්තේ නළලට
කොරෙක් වෙන්නේ මෙයද  ඉරණම

ගමදෝණි ආවා මිදුලටම
ගිහින් වැන්දා මාපියන් පය
අනෙ අම්මෙ අනෙ තාත්තේ
තවත් මගුලක් එපා මට නම්
තනිව ඉන්නම් මියෙන තුරු මම
අම්මා තාත්තා ඉන්නේ මා හට

එහෙම කොහොමද කරන්නේ අප
අපිට  ඉන්නෙ දුව විතර කොට
කොහොම ඉන්නේ අපි නොමැති කල
කියා හැඩුවා මා පියන් නෙත

අසා අසරණ  මාපියන් හඩ
කම්පා වුණි සක්දෙවිදු හද 
මැවුණි ලස්සන තරුණ මිනිසෙක්
ගම දුවගෙ අසලින්ම පින්බර


කපුවා දිව්වා හිස් හැරුණු අත
ගම පවුලේ පින් මහිම  දැක
ගත්තු මුදලට මෙහෙම කෙරුවේ
අනේ දෙවියනි සමා වෙන්නේ

අපේ හදවතේ දුක බලාලා
කුමරු එව්වා දුවව දැකලා
මෙසේ සිතමින් හරිම සතුටින්
දුවට දුන්නා මගුල කරලා  ............