Tuesday, April 29, 2014

කදුලු බිංදුව






තෙරපෙනා දුක
දියවැලින් ගෙන
නෙතින් ඉවතට
ඇද දමා
දෙනෙත් සෝදා
දෙකම්මුල් පිස
දෙතොල් අතරින්
බේරේනා
දෙනෙත් රතුකොට
ගිනි පුපුරු ලෙස
හදට සිසිලක්
රැගෙන එනු මැන
කදුˆ බිංදුව

Monday, April 28, 2014

ආලේ තාලේ ……….


නයනි කමනි විමල් කමල්
සේරමල්ලා මෙහෙට වරෙල්ලා
මෙන්න බොලේ කවි මාමා ගමට ඇවිල්ලා
තක දොං ගමට ඇවිල්ලා

තරුණ කාලේ කරන ආලේ අන්ධ දෙයක්ලු
ඇත්තට …………………?
අන්ධ දෙයක්ලු ……

ආලේ වෙනුවෙන් පණ දුන් ඈයින්
හිටියලු ඉස්සර කාලේ
තකදොං  ඉස්සර කාලේ
එහෙම ඈයෝ දුක් වින්දේ
හින්දලු  ආලේ

අම්මපා ………………..?
හින්දලු  ආලේ ………..

තරුණ  සිතට මහා ජවයක්
දුන්නට ආලේ
පහුවෙනකොට තේරෙනවලු
ආලේ තාලේ

අහපන් ……….
ආලේ තාලේ ……….








Sunday, April 27, 2014

මැණික නුඹයි සැමදා අපෙ ලොව දිලෙන …………..

මොළකැටි අත් පා සලා
කිරිකැටි සුදු මුව අයා
මව් තුරුලේ නැලවෙනා
මගේ පණ සුදු දුව ඔයා

සුදු මුවගින් සිනහ සලාලා                                             
කිරි සිහිනයේ කිරුළ දරාලා
අප්පච්චිට සිහින ගෙනල්ලා
නිදියන් සුදු දුව නැලවීලා

නුඹ දුටුවා ලස්සන සුදු මැණිකක් ලෙසට
පිය සෙනෙහස දැනුනා මගෙ හද පතුලටම
කිරි සිහිනයේ රජකම මගේ දෝතට දුන්න
 මැණික නුඹයි සැමදා අපෙ ලොව දිලෙන 









Thursday, April 24, 2014

සිතුවිල්ලකි ඔබ කිසිදා මට හමු නොවුන …………………

දෛවය සරදම් කළ තරම
ආදරයත් හිමි නෑ මෙමට
සිහිනෙන් මට පෙනෙනා ඔබව
හිමිවෙන්නේ නැතිදෝ සසර

ගත සිත දුබලව මිලාන වී යනවා
අවසන් මොහොතේ ඔයාව සිහිවෙනවා
ඔය ලස්සන රුව මගේ සිත කළඹනවා
පියවෙන නෙත් යුග කදුලින් තෙත් වෙනවා

මියයන හදවත ඉකිබිදිනා හඩ අහගෙන ඉන්න
කවුරුත් නෑ මට මගෙ හදවත පුද දුන්න
සිත තුළ ඉන්නේ ඔබ පමණයි මා දන්න
සිතුවිල්ලකි ඔබ කිසිදා මට  හමු නොවුන 

Tuesday, April 22, 2014

ලෝකේ පළමුව බුදුන්ට විවරණ දුන් අම්මා .............................

ගමට කලින් හිරු මුලුතැන් ගෙට        වඩිනා
ඒ හිරු එලියේ නැණ මල් පොඩි         පිපුනා
ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව        ගෙනෙනා
කලා වැවේ නිල්  දියවර අපේ            අම්මා 
                                         කලා වැව රජරට වියළි බව දුරු කරන්නා සේම අපේ අම්මා ඉරි තලා  වැටුණු අප ජීවීතය සරුසාර කරනා සුනිල දිය දහරයි . දස මාසයක් කුස තුළ දරාගෙන , රතුවන් රුධිරය සුදු කිරි බිදකට හරෝලා තමන්ගේ දරුවාගෙ කුස ගින්න නිවන්න අම්මා තුළ තියෙන සෙනෙහස හරිම පුදුමාකාරයි . ඒ සෙනෙහස රන් රීදී මිල මුදල් වලින් මිල කරන්න බැරි තරම්  සම්පතක්.  
                                             මේ අම්මා කියන උතුම් පදවිය දරන්න පුලුවන් ආදරණීය අම්මට මේ ලොකේ දරුවන් වෙනුවෙන් කැප කරන්න බැරි කිසිම දෙයක් නැහැ.අන්න ඒකයි අම්මා කියන පදවියේ ඇති සුවිශේෂී තාවය.තාත්තා ගේ සෙනෙහසත්  උතුම්. ඒත් අම්මා තරම් දරුවන් ගැන හිතන , දරුවන් මත්තෙහි තම බලාපොරොත්තු වටකොට ඇති වෙන කිසිම කෙනෙක් මේ මිහිපිට නෑ . 
                                 අපි  සෑම දෙනාම අපේ අම්මට  ආදරෙයි . ඒක අපේ ලේ වලින්ම එන බැදිමක් . ඒ බැදීමේ ශක්තිමත් බව කියන්නේ  අම්මා කවදාවත් අපිට  නොමග යන්න දෙන්නේ නැහැ . අම්මා තමා අපේ මුල්ම ගුරුතුමිය වෙන්නේ , හොද නරක වෙන්කරලා අපිව යහමග යවන්න මුල්ම අඩිතාලම දාන්නේ අම්මා . මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා කියන  උතුම් ගුණ වලින් පරිපූර්ණ වූ අපේ අම්මා ගෙදර බුදුන් වුනා , ලෝකයේ දෙවෙනි බුදුන් වුනා . ලෝකය ඉදිරියේ වැරදී කාරයන් වෙන බෝහෝ දෙනා අම්මගේ හදවත නැමැති ජූරීයේ ඉදිරියේ හැමදාමත් නිවැරදිකරුවන් වෙනවා .
                                                                         මොහොතකට සිතන්න
අපි අද ලස්සනට ජීවත් වෙලා ඉන්නේ අපේ අම්මා අපි ඉපදුන දවසේ ඉදලා අපේ කැත කුණු අතගාලා, අත පය නොකඩා  මලක් වගේ අපිව හදාපු හින්දයි .අන්න ඒ තරම් ආදරයෙන් අපිව හදාපු අම්මව කවලා පොවලා රැක බලා ගන්න බැරි නම් අපි රජවෙලා උන්නත් වැඩක් නෑ .අද සමාජයේ ඉහළ පැළැන්තිවල ඉන්න දරුවන්ගේ අම්මලා එක්කෝ ඒ දරුවන්ගෙම වැඩකාරී වෙලා , නැත්තම් නිවසින් පිටමං කරවලා .දරුවෝ තරුණ වෙලා ලස්සනට ඉද්දී අම්මලා වයසට යන එක මේ ලෝක ස්වාභවය .ඒත් දරුවෝ හිතන්නේ තමන්ගේ  තත්ත්වයට තමන්ගේ වයසක අම්මා බාධාවක් කියලා , අපේ අම්මත් අම්මගේ තරුණකම ලස්සන බලලා අපිට කිරි ටික නොදී හිටියනම් අපි අද මොන තනතුරවත් දරන්න මේ ලොකේ ජීවත් වෙන්නේ නෑ නේද? 
                 මුහුදේ නැව ගිලුන කලට බෝසත් තම    අම්මා
                 දෑතේ කරපිට හිදුවා පීනා ගොඩ              දැම්මා 
                 ඒ දේ කර පැතූ ලෙසට මම මතු බුදු        වෙම්මා
                 ලෝකේ පළමුව බුදුන්ට විවරණ දුන්       අම්මා 
                                                බුදු හාමුදුරුවන්ටත් බුදු වෙන්න පළමු විවරණ දුන්නේ අම්මා , අම්මාගේ ගුණ කද මේ අකුරු දෙක තුනකින් ලියලා ඉවර කරන්න බැහැ .ලෝකයේ ජීවය  රදා පවතින්නේ හිරුගේ කිරණෙනුයි , මවගේ කිරි වලිනුයි . අම්මගෙන් බීපූ ඒ කිරි බිදකට ණය ගෙවන්න අපිට මේ සංසාරෙදි හැකි වන්නේ නැහැ ,අම්මගේ සිත නොරිදා , ඇගේ ලෝකයේ වීරයන් වීම දරුවන්ගේ යුතුකමක්  වෙනවා .



“හඩනා කිරි දරුවෙකු දුටු විට දී  -ගැලුවා රතුලෙය සුදු වී.”                                අන්න ඒකයී අම්මා  කෙනෙක්ගේ ආදරය කියන්නේ ,ඒ උත්තරීතර වූ මව් සෙනෙහසට  මාගේ මේ කෙටි සටහන උපහාරයක්ම වේවා…………….                                                 

Sunday, April 20, 2014

මා රජ වූයෙමි නුඹ හිනහෙන කිරි සිහිනේ…………………..


මගේ ලේ කිරි කර පොවන්න බෑ       පුතුනේ
කුස තුළ දරාන දෝතට ගත්තේ නෑ    පුතුනේ
නුඹට හිත බැදී නුඹ ගෙන ආ             දිනයේ
මා රජ වූයෙමි නුඹ හිනහෙන  කිරි     සිහිනේ

දරුවෙකු කුස තුල දරන්න මා පින් කර      නැතුවා
පුතු දුටු දින මා දරු සෙනෙහස                     දුටුවා
නුඹෙ මෑණියන් මගේ දෝතට නුඹ              පිදුවා
හිමි නැති දරු සුරතල් මා                           ලැබුවා

ළය කිරි එරුනේ නැතත්            පුතේ
අම්මා මම වෙමි නුඹ නළවන    දෑතේ
පියා සමග සුරතල් වී හිනහෙන  තාලේ
මගේම පුතූ වී ඉපදෙන් සසර      භවේ 

Wednesday, April 16, 2014

මගේ කතාව………………















මහතුනේ අසා යන්න මගෙ               කතාව
අම්මෙක් අප්පෙක් නැති මේ  පුතුගෙ   කතාව
හිනාවෙලා පුංචි කටින් කියන             කතාව
කාසි ටිකක් දමා යන්න අසා                කතාව

ඉපදුන දා මා  පාරට දැමුවලු මගෙ          අම්මා
මා  පාරට දමන තුරුම තැලුවලු මගෙ      අප්පා
දරු සෙනෙහස අදුරන්නේ නැතිවලු ඒ දෙන්නා
මහ පාරේ දමා ගියෙ අසරණ පුතු           පැටියා

මගෙ තනියට මහ පාරයි හිස් අහසයි මාත් එක්ක       ඉන්නේ
කන්න බොන්න නැති හින්දයි මගෙ දුක කවි         කෙරුවේ
මගෙ වයසේ පොඩි දරුවන් අම්මා එක්ක                යන්නේ
මං විතරද මගෙ අම්මට එපා වෙලා                          ඉන්නේ 

Wednesday, April 9, 2014

පුතුනේ ඇවිත් යන්න……………………………



ඉපදුන දා නුඹ මැණිකක් ලෙසට  සිතා 
දුක් කරදර වින්දා මා නුඹ රජකම් කරයි  සිතා 
ලේ කිරි වී නොම එරුනත් පපුව  පුරා 
පිය සෙනෙහස දුන්නා මගේ දෝත  පුරා 

දා බිදු වගුරවා නුඹ රැක ගත්තු හැටී 
අම්මා නැතුව නුඹ නලවා ගත්තු හැටී
උගතෙකු වෙලා නුඹ ලෝකය දිනුව හැටී 
දුප්පත් පියා අමතක කර දැමුව  හැටී 

මගේ තුරුලේ නැලවී උන්  මගෙ පුතු  රජවීලා
පිය සෙනෙහස දෝරේ ගලයි තනිකම  සිහිවීලා 
මහලු මඩමේ මහලු බවට නෑ තනියක්  දැනීලා 
පුතුනේ ඇවිත් යන්න බැරිද මගේ තනිකම  මකාලා 

Tuesday, April 1, 2014

කටු මැටි අතු පැල...................












කටු මැටි අතු පැල  හඩා වැටෙනවා 
තරු මල් අහසින් බිමට වැටෙනවා 
අම්මා සිහිවී කදුලැල් එනවා 
දුප්පත් පැල අපෙ තනිය මකනවා 

නංගි මල්ලී කිරට හඩනවා 
හදහාමි අපෙ පැලට එබෙනවා 
උණු කදුලැලි රැ සීත මකනවා 
බඩගින්නේ අපි නින්දට යනවා 

හිමිදිරියේ කුසගිනි ඇහැරෙනවා 
දවසක් ගෙවන්න සටන් කරනවා 
මත් රකුසා පිය සෙනෙහෙ නසනවා 
පින්වත් මහතුනි පිහිටක් වෙනවා