Tuesday, May 27, 2014

තෛයිපොංගල්

                                
          එදින පාසල් නිවාඩු දිනයක් වූ නිසාත්  පාන්දර අවදි වීමට කිසිදු අණක් නොලැබු නිසාත්  පොරවා ගෙන ඇති බෙඩ් ෂීට් දෙකටත් උඩින් ඇද රෙද්දද පොරවා ගෙන මා ඇදටම ගුලි වූයේ හිමිදියේ අධික සීතල දරා ගත නොහැකි නිසාමය .අම්මාත් ,අප්පච්චීත් අයියලාත් සමග කොළඹ ගියේ පෙරදා සවස නිසා නිවසේ සිටියේ අත්තම්මාත් , කුස්සි අම්මා හා ඇගේ දුව සිරියාත් මාත්.

චූටී ………. චූටි …………….
නැගිටින්න  දෝණී …….
අද පෝය දවසෙත් තාම නිදිද  ඔයා ………..?
අද සිල් ගන්න යන්නේ නැද්ද ………..?
 නැගිටලා එන්න කෝ  …………. ළමයෝ  ”

                          අත්තම්මාගේ හඩින් එවකට පළමු වසරේ පාසල් දැරියක් වූ මා නැගිට්ටේ හඩමින් හා කෙදිරි ගාමිනි .

අනේ අත්තම්මේ , අද සිල් ගන්න යන්න බෑ ………..
 අයියලත් නෑ ……… මට තනියම යන්න බෑ …….
අම්මා යන්න කිව්වෙත් නෑනේ …….. අත්තම්මේ …..”
                                                                  කොතෙක් ඇවටිලි කලද පලක් නැති තැන මම මුහුණ සේදීමට ගියේ හඩමිනි .

අම්මා කියන්න ඕනද දෝණි ………..?
 අද පෝය දවසක් තමා  
මේ කැලැන්ඩරෙත් රතු පාට කොරලා තියෙන්නේ ……….
ඕන් උදේම  ඝන්ඨාරෙත් ගහනවා ඇහුණා ………..
සුදප්පු වෙන්නැති   
උන්දැනේ ඉතින් ඕවා කරන්න  ඉන්නේ  …………. ”  අත්තම්මා තවත් මොනවාදෝ කියමින් මා පන්සල් යැවීමට සුදානම් කළාය .

“හරි එහෙනම් අත්තම්මත් එන්න ……
මට බෑ තනියම යන්න ……..”
                                        මා පැවසුවේ සෑම පොහෝ දිනකම සිල් ගන්නට යන අත්තම්මා මා සුදානම් කලා මිසක  ඇය සුදානම් නොවු නිසාය .

“අම්මලත් නැතුව මම කොහොම එන්නද පුතේ …………?
කමලා  විතරයි ගෙදර ඉන්නේ ……
අන්න මං කමලට කිව්වා සිරියා කෙල්ලවත්  ලැහැත්ති කරලා එවන්න කියලා ”
             අත්තම්මා මෙසේ කියත්ම සිරියා ඇගේ මව සමග  සාලයට ආවේය.
 "එහෙනම් සිරියෝ …………..
 චුටි නෝනත් එක්ක  පරිස්සමින් ගිහින් වරෙල්ලා ” 
                                                                 අත්තම්මා අප දෙදෙනා මල් වට්ටිද ගෙන පාරට පැමිණෙද්දි  අවවාද කරනු ඇසිණි.

                                      පන්සල පිහිටා ඇත්තේ මාටින් මාමාගේ කඩයට අල්ලපු වැටෙහිය .කුඩා අප දෙදෙනා කඩය පසු කර යන විට එහි උන් මාටින් මාමා හා නැන්දා මුහුණින් මුහුණ බලා සීනාසී අප දෙස බලනවා මා මෙන්ම සිරියාද දුටුවේය.ඒ වෙලෙහි එහි තේ බිබි උන් සිරියාගේ සීයා , බබානිස් මුත්තාද ,සෝමපාල  මාමාද ,

“ ආ ……………..
 පුංචි නෝනා සිල් ගන්න යනවා වගෙයි  ……….. ? ”
                                        ඇසුවේද මුවගින් ආ සිනහව මැඩගෙන බැව් දුටු සිරියා,
         “ඔව්  සීයේ අපි යනවා …………”  පවසමින්  මා පසුපසින් ඇදෙන්නට විය .
             අප දෙදෙනා පන්සලට ගොස් පාවහන් ගලවා ධර්ම ශාලාව දෙසට ගිය මුත් එය අගුලු ලා තිබුණි. කිසිවෙක් පෙනෙන්නට නැත . අද පොහොය දිනයක් නම් නොවන බව අප දෙදෙනාටම සිතුණි .

“ ඈ …. පුංචි නෝනා
කවුරුත් ඇවිත් නෑනේ ………
ආ ………… අර සුදප්පු සීයා නේද මේ පැත්තට එන්නේ …………? ”                                                           
                      සිරියා පැවසුවේ අප දෙසට එමින් සිටි සුදප්පූ සීයා පෙන්නමිනි. ඒ පිටුපසින් ලොකු හාමුදුරුවෝද අප වෙත එමින් සිටියේය .

“ ආ ……….. මේ අපේ නන්දා ඉස්කෝලේ නෝනාගේ දුවනේ  ………..
මොකද අද මේ ……………..
පෝයත් අද නෙමෙනේ …………”
                                               සුදප්පූ සීයා ඇසුවේ ලොකු හාමුදුරුවන්ගේද මුවගට සිනහ නංවමිනි . අප දෙදෙනාට පොළව පලා ගෙන යාමට තරම් ලැජ්ජාවක් ඉපදුනි.

“ ලොකු හාමීනේ තමා චූටී නෝනටයි මටයි කිව්වේ  අද පෝය කියලා කැලැන්ඩරේ රතු කරලාතියෙනවා  ……
ඒක හින්දා සිල් ගන්න යන්න කියලා  ……
හාමුදුරුවනේ ……………”
                                             සිරියා බිම බලාගෙන පැවසුවාය .

“ඔව් ………. හාමුදුරුවනේ 
අත්තම්මා  කිව්වා  සුදප්පූ සීයා ඝන්ඨාරෙත් ගහනවා ඇහුණා  කියලා…… ”

  මා පැවසුවේ නෙතින්ගලා යන කදුලු අතරිනි .

“ හහ් ……….හහ්…………….හා ……………
සුදප්පූ ඝන්ඨාරේ ගැහුවේ එගොඩහ  සිමියොන්ගේ මළ ගේ ගමේ අයට දන්වන්ඩ නේ ……….
අපේ ඉස්කෝලේ හාමිනේ ගෙදර නැතුවද  චූටි නෝනේ …………….?
                                                                    ලොකු හාමුදුරුවෝ ඇසුවේ අප දෙදෙනාගේම ඇස්වලින් කදුලු කඩා වැටෙද්දීය.

“නෑ ……. නෑ ………. හාමුදුරුවනේ  ………..
අම්මයි , අප්පච්චියි  අයියලා  එක්ක කොළඹ බාප්පලගේ දිහා ගියා ”
   මා පැවසුවේ හැඩුම් අතරිනි .

“ ඒකත් එහෙමද………?
ඕක අඩන්න  තරම් දෙයක් නෙමේ දරුවනේ ………
අපේ ලොකු හාමිනේටත් දැන් වයස හින්දා ඇස් පේනවා හොර ඇති මගේ හිතේ ……….
අදට යෙදිලා තියෙන්න් දෙමළ අයගේ තෛයිපොංගල්  උත්සවේනේ …………..”
                  කවදත් කරුණාවන්ත ලොකු හාමුදුරුවෝ පැවසුවේ අපගේ සිත් වල වූ දුක තුනී කිරිමටය.ලොකු හාමුදුරුවන් පා නැමද අපි යළි නිවස කරා පැමිණියේ හඩමිනි .මාටින් මාමාගේ කඩය ලගින් යනවිට හැඩුම වැඩි විය .ඔවුන් සිනාසුනේ ඇයිද කියා තේරුණ විට හඩනවා හැර කුමක් කරන්නද ?

                       අප මිදුලට එත්ම කුස්සි අම්මා සමග මිදුලේ උන් අත්තම්මා,

“මොකද සිරියෝ මේ පන්සල් ගිය පයින්ම  ආවේ ………..?
චූටී පුතේ ……….මොකද  මේ …………? ”
                                                                  අසද්දී මගේහැඩුම වැඩි විය .

“මොකෝ දෝණී උනේ ……? ”
                                                 අසමින් පැමිණි අත්තම්මා මා තුරුලු කර ගත්තාය .

“අනේ …….අත්තම්මේ  …….
අද පෝය නෙමෙනේ …………
අද  තෛයිපොංගලූ………..
ලොකු හාමුදුරුවොත් හිනා  උනා  
අපි සිල් ගන්න ආවා කිව්වාම ………ඉහි……ඉහි…..ඉ ….ඉ…
සුදප්පූ සීයා ඝන්ඨාරේ ගහලා තියෙන්නේ  සිමියොන් මාමාගේ මළ ගේ ගමේ අයට දන්වන්ඩලූ …”  
                                        පැවසූ මා කාමරයට දිව ගියේ අත්තම්මාත් , කමලාගේත් සිනහවට ලක්වීමට අකමැති වූ නිසාය.

“හප්පොච්චියේ …………….
මං කෙරුව වැඩක් කමලෝ ………
අද නම් විසුමක් නැති වෙයි ..
කොල්ලෝ දෙන්නා දැන ගත්තොත් …………..”
                                                                        කියමින් අත්තම්මාත් , කමලාත් , සිරියාත් සිනාසෙනු මට ඇසිණි.ඇත්තටම අයියලා දෙන්නා දැන ගත්තොත් තවත් බොහෝ කලක්  කනක් ඇසී හිදින්නට බැරිවෙනු ඇත.යළි සාලයට ආ මා

“අනේ ………..අත්තම්මේ 
අයියලා එක්ක නම් ඕක කියන්න එපා”
                                                 පැවසුවේ එම නිසාය.කොහොමින් කොහොම හරි රෑ බෝ වී නිවසට පැමිණි අම්මාටත් , අප්පච්චීටත් , අයියලාටත් අත්තම්මා මේ කතාව රස කර කර කියනුද , අයියලා දෙදෙනාගේ උස් සිනහවද සිහිනෙන් මෙන් මට ඇසුණි.

                                                       
                                                                                                        









5 comments:

  1. ගෙදර ආත්තමත් එක්ක හිටිය කමලයි සිරියයි කෝමද උදේ ආයි ආවේ. එතන අවුල්..

    කොහොම උනත් හරිම ලොල් කතාවක්.. ජය වේවා..

    ReplyDelete
  2. හපොයි වෙන වැඩ...
    කතාව ගලපන ආකාරය හොදයි තවත් ලියන්න.. හොදට ලියන්න පුලුවං වෙන්නෙ එතකොට
    ජයවේවා

    ReplyDelete
  3. ලියන්න ලියන්න තමා ලිවීම දියුණු වෙන්නෙ (මම දන්න හැටියට)

    දිගටම ලියන්න ලස්සනයි.

    ReplyDelete
  4. ලිවීමේ හැකියාව ඉතාම ඉහලයි. දිගින් දිගටම ලිඅයමින් සතත අභ්‍යාසයේ යෙදෙන්න. ඔබට හොඳ අනාගතයක් තියෙනවා.

    ජයවේවා!

    ReplyDelete
  5. ඔහොම අත්තමල ඉන්නවා.... වගකීම් ඉහටත් උඩින්..... ඒ අවංක කමේ ප්‍රතිමුර්ටියක් ලස්සනයි කතාව.

    ReplyDelete